ශ්‍රී ලංකාව තුළ යම් හෙයකින් ඉන්ධන අර්බුදයක් මතු වුවහොත් එය පාලනය කරමින් සාර්ථකව කළමනාකරණය කිරීමට චීනයේ සයිනොපෙක් (Sinopec) සමාගම මැදිහත් වන බව මෙරට චීන තානාපති චී චෑංග් හොංග් මහතා ප්‍රකාශ කර තිබේ. තානාපතිවරයා අවධාරණය කළේ මෙරට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, බලශක්ති ක්ෂේත්රයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන බවත්ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගාසිටුවීම සඳහා චීන රජය සැමවිටම කැපවී සිටින බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී පැවැති විශේෂ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව තානාපතිවරයා මාධ්‍ය වෙත මෙම අදහස් පළ කළේය. එහිදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 350ක් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට ද චීන තානාපති කාර්යාලය පියවර ගෙන තිබුණි. මෙරට බලශක්ති වෙළෙඳපොළ තුළ සයිනොපෙක් සමාගමේ ක්‍රියාකාරී දායකත්වය අනාගතයේදී ඇති විය හැකි ඕනෑම අර්බුදකාරී තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමට ශක්තියක් වනු ඇති බවට තානාපතිවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.














