මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇති වනු ඇතැයි යන බියෙන් ජනතාව විශාල වශයෙන් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසීම හේතුවෙන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අද (02) පෙරවරු 9.44 වන විට පමණක් ඉන්ධන ලීටර් මිලියන 5.2ක් වෙළෙඳපොළට නිකුත් කර තිබේ.
අද උදෑසන කාලය තුළ පමණක් ඩීසල් ලීටර් 2,325,349ක් සහ පෙට්‍රල් ලීටර් 2,904,000ක් පිරවුම්හල් වෙත නිකුත් කර ඇත. ඊයේ (01) දිනයේදී ද ඩීසල් ලීටර් ලක්ෂ 30ක් සහ පෙට්‍රල් ලීටර් ලක්ෂ 39ක් බෙදාහැර ඇති බවත්, පවතින අධික ඉල්ලුම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල තාවකාලික හිඟයක් ඇති වී ඇති බවත් ඔහු පැවසීය.
මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් කළුකඩ ජාවාරම්කරුවන් පිරිසක් අනවශ්‍ය කලබලයක් ඇති කිරීමට උත්සාහ කරන බව පෙනී ගොස් ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට පොලිස් මැදිහත් වීම ලබාගෙන තිබේ. කිසිදු හේතුවකට කෑන් හෝ බෝතල්වලට ඉන්ධන නිකුත් නොකරන ලෙස පිරවුම්හල්වලට උපදෙස් දී ඇති අතර, එවැනි සිදුවීම් දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.














