පවතින ඉන්ධන අර්බුදය සහ දිවයින පුරා නිර්මාණය වී ඇති තෙල් පෝලිම් හේතුවෙන් මාර්තු මස මුල් දින 19 තුළ මෙරට සාමාන්‍ය දෛනික ඉන්ධන අලෙවිය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දත්තවලට අනුව, සාමාන්‍ය දෛනික ඉල්ලුම අභිබවා යමින් ඔක්ටේන් 92 පෙට්‍රල් අලෙවිය 133%කින් සහ ඔටෝ ඩීසල් අලෙවිය 151%කින් ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම සුපර් ඩීසල් (181%), ඔක්ටේන් 95 පෙට්‍රල් (161%) සහ භූමිතෙල් (172%) යන ඉන්ධන වර්ග සඳහා ද පාරිභෝගිකයන්ගෙන් දැඩි ඉල්ලුමක් පවතී.
මෙහිදී වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ තෙල් පෝලිම් උත්සන්න වූ මාර්තු 02 වැනිදා වාර්තා වූ ඉහළ අලෙවියයි. එදින සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 4,045ක් වන 92 පෙට්‍රල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 8,471 දක්වා 209%කින් ඉහළ ගොස් ඇති අතර, ඔටෝ ඩීසල් අලෙවිය මෙට්‍රික් ටොන් 8,615 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම එදින 95 පෙට්‍රල් අලෙවිය සාමාන්‍ය මට්ටම මෙන් 272%ක අගයක් ගෙන ඇත. මාර්තු 03 වැනිදා ද මෙම ප්‍රවණතාව එලෙසම පැවති අතර 95 පෙට්‍රල් ඉල්ලුම 242%කින් සහ සුපර් ඩීසල් ඉල්ලුම 202%කින් ඉහළ ගොස් ඇති බව දත්ත පෙන්වා දෙයි.
මෙම අලෙවි වාර්තාවලට අනුව මාර්තු 05 වැනිදා සුපර් ඩීසල් සඳහා පැවති ඉල්ලුම 295%ක් වැනි අතිවිශාල අගයක් ගෙන ඇති අතර භූමිතෙල් අලෙවිය 262%කින් ඉහළ ගොස් ඇත. පවතින අනියත බිය සහ පෝලිම් හේතුවෙන් පාරිභෝගිකයන් අතිරික්ත තොග රැස් කිරීමට පෙළඹීම මෙම අසාමාන්‍ය ඉල්ලුම ඉහළ යාමට ප්‍රධාන හේතුව බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය හමුවේ ඉන්ධන තොග කළමනාකරණය කිරීම රජයට සහ තෙල් සංස්ථාවට දැඩි අභියෝගයක් වී තිබේ.













