නීති විරෝධී ලෙස ඉන්ධන රැස් කර තබාගෙන සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක මෙහෙයුම් තවදුරටත් දැඩි කර තිබේ. ඊයේ (19) දිනය තුළ පොළොන්නරුව, හම්බන්තොට සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් කිහිපදෙනෙකු සමඟ විශාල ඉන්ධන තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇත. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ගෝලීය තෙල් මිල ඉහළ යමින් පවතින පසුබිමක, මෙලෙස ඉන්ධන සඟවා තබාගෙන වැඩි මිලට අලෙවි කරන ජාවාරම්කරුවන් සොයා බුද්ධි අංශ සහ පොලිසිය ඒකාබද්ධව මෙම වැටලීම් මෙහෙයවයි.
පොළොන්නරුව මීගස්වැව ප්‍රදේශයේදී පෙට්‍රල් ලීටර් 604ක් සඟවාගෙන සිටි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඉන්ධන හිඟ අවස්ථාවලදී වැඩි මිලට අලෙවි කිරීමට මෙම තොග රැස් කර ඇති බව හෙළි වී තිබේ. එසේම හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ නිවසක තිබී ඩීසල් ලීටර් 500කට ආසන්න ප්‍රමාණයක් සහ පෙට්‍රල් ලීටර් 20ක් ද, බණ්ඩාරවෙල බෝගහකුඹුර ප්‍රදේශයේදී පෙට්‍රල් ලීටර් 110ක් සහ තවත් ඉන්ධන තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. මෙම සියලු සැකකරුවන් අදාළ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ කළු කඩ ජාවාරම් නැවැත්වීමට රජය උපරිම පියවර ගනිමින් සිටී.














