ජාතික ඉන්ධන බලපත්‍ර (Fuel Pass) පද්ධතියේ පවතින දත්ත යාවත්කාලීන කිරීමේදී හඳුන්වා දුන් ‘පැරණි ලියාපදිංචිය අවලංගු කර නැවත ලියාපදිංචි වීමේ’ ක්‍රමය අවභාවිත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ඩිජිටල් අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා ඊයේ (මාර්තු 19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවසීය.
පද්ධතියේ තිබූ දත්ත මිලියන 2.7ක් පමණ මකා දමා නව ලියාපදිංචිය සඳහා අවස්ථාව සලසා ඇත්තේ වාහන අයිතිය මාරු වූ හෝ පෙර ලියාපදිංචි කළ ජංගම දුරකථන අංකය අහිමි වූ පුද්ගලයන්ට සහනයක් සැලසීම සඳහාය. යම් පුද්ගලයෙකු වෙනත් අයෙකුට අයත් වාහනයක දත්ත (චැසි අංක ආදිය) ඇතුළත් කරමින් වංචනික ලෙස QR කේතයක් ලබාගැනීමට උත්සාහ කළහොත්, පද්ධතිය හරහා එම තොරතුරු පහසුවෙන් අනාවරණය කරගත හැකි බවත් ඒ සඳහා සිරදඬුවම් ඇතුළු දැඩි නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවත් ඒ මහතා අවධාරණය කළේය.
QR කේතය ලබාගැනීම සඳහා https://fuelpass.gov.lk නිල වෙබ් අඩවිය පමණක් භාවිතා කරන ලෙසත්, ජනතාවගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති ව්‍යාජ වෙබ් අඩවිවලට හසු නොවන ලෙසත් රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දැනටමත් ලක්ෂ 55කට ආසන්න පිරිසක් සාර්ථකව ලියාපදිංචි වී ඇති අතර, බස් රථ හිමියන් ඇතුළු රියදුරන් මාරු වූ වාහන හිමියන්ට මෙම නව ක්‍රමය යටතේ පහසුවෙන් ලියාපදිංචි විය හැකිය.














