දැනට පවතින ලෝක යුදමය වාතාවරණය ඉදිරි සති කිහිපය තුළ පාලනය කර ගැනීමට නොහැකි වුවහොත්, මැයි මාසයේදී සිදු කිරීමට නියමිත මීළඟ ඉන්ධන මිල සංශෝධනයේදී ජනතාවට දරාගත නොහැකි මට්ටමේ මිල ඉහළ යාමක් සිදු විය හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අනතුරු අඟවයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජය ලෝක දේශපාලනික තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කළද, ඉන්ධන මිල කෙරෙහි සෘජුවම බලපාන මෙම යුද ගැටුම්වල ගමන් මඟ පිළිබඳව නිශ්චිත අනාවැකි කිව නොහැකි බවයි.
පසුගියදා සිදු කළ ඉන්ධන මිල සංශෝධනයේදී, වත්මන් බොරතෙල් බැරලයක මිල සහ ඩොලර් අගයට සාපේක්ෂව මිල ඉහළ දැමිය යුතු වුවද, රජය විසින් එහි සම්පූර්ණ බර පාරිභෝගිකයා මත පැටවීමෙන් වැළකී සිටි බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. “අපි වෙළඳපොළ අනුපාතවලට අනුව සම්පූර්ණයෙන්ම මිල වැඩි කළේ නම්, රටේ ආර්ථිකයට එය එකවර දරාගත නොහැකි වනු ඇතැයි” ඔහු පවසා සිටියේය. ඒ අනුව පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා අතිරේක පිරිවැයෙන් කොටසක් රජය විසින් දැරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, මැයි මාසයේදී පැවැත්වීමට නියමිත මීළඟ මිල සංශෝධනය වන විට ලෝක තත්ත්වයන් සහ යුධමය වාතාවරණය තවදුරටත් නරක අතට හැරුණහොත්, ඉන්ධන මිලෙහි සැලකිය යුතු සහ දැවැන්ත වැඩිවීමක් අපේක්ෂා කළ යුතු බව ඔහු අවධාරණය කළේය. මේ වන විටත් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීම සහ ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ යාම හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින පසුබිමක, මැයි මාසයේදී සිදුවිය හැකි මෙම මිල ඉහළ යාම මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.














