ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ ඇතැම් රටවල තෙල් මිල 50%ක් දක්වා ඉහළ ගොස් තිබුණද, ශ්‍රී ලංකාව එම තත්ත්වය සියයට 8ක සාමාන්‍ය අගයකින් කළමනාකරණය කර ගැනීමට සමත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ තෙල් නිෂ්පාදනය කරන රටවල් හැර සෙසු සියලුම රටවල් සිය ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙරට ඉන්ධන සැපයුමෙන් 57%ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු වුවද, ඉතිරි 43%ක වෙළෙඳපොළ කොටස පෞද්ගලික අංශය සතුව පැවතීම මිල පාලනය කිරීමේදී පවතින අභියෝගයක් බව ඔහු සඳහන් කළේය. පෞද්ගලික අංශයේ සමාගම් ලෝක වෙළෙඳපොළ මිලට අනුකූලව ඉන්ධන අලෙවි කිරීමට අපේක්ෂා කරන අතර, එම මිල සහන ලබා නොදුනහොත් තෙල් ආනයනය කිරීම නතර කරන බවට ඔවුන් දැනුම් දී ඇති බව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය. පවතින තත්ත්වය හමුවේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා රජය මෙම තීරණාත්මක කළමනාකරණය සිදු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ගෝලීය වශයෙන් ඇති වී තිබෙන බලශක්ති අර්බුදය හමුවේ දේශීය පාරිභෝගිකයාට අවම බලපෑමක් වන අයුරින් මිල ගැලපීම් සිදු කිරීමට රජය උත්සාහ කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවලදී ද මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරන බවත් ජනාධිපතිවරයා සිය කතාවේදී සඳහන් කළේය. මැදපෙරදිග ගැටුම් දිගින් දිගටම පැවතුනහොත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ ද පෙන්වා දෙති.















