වයෝවෘද්ධ පුද්ගලයන්ගේ, මියගිය අයගේ සහ විදේශගත වූවන්ගේ වාහන දත්ත භාවිත කරමින් ව්‍යාජ ලෙස QR කේත සකස් කර ඉන්ධන ලබාගන්නා සංවිධානාත්මක කණ්ඩායම් පිළිබඳව පොලිසිය සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ජාලය හරහා ලබාගන්නා ඉන්ධන තොග රැස්කර කළු කඩ මිලට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (RMV) ඇතැම් නිලධාරීන් ද මෙම දත්ත සොරා ගැනීමට සහාය වී ඇති බවට සැක කෙරේ.
පොලිසිය පවසන පරිදි, වාහනවල අයිතිය සහ දුරකථන අංක වෙනස් කිරීමට ලබා දී ඇති තාක්ෂණික පහසුකම් අවභාවිත කරමින් මෙම වංචාවන් සිදු කරනු ලබයි. තමන්ගේ වාහනවලට මින් පෙර ලබාගෙන තිබූ QR කේතයන් වෙනත් දුරකථන අංකවලට මාරු වී ඇති බවට 1919 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි රැසක් ලැබී තිබේ. පුද්ගලික දත්ත මෙලෙස පිටස්තරයන් අතට පත්වීම බරපතළ ආරක්ෂක ගැටලුවක් බව පෙන්වා දෙන බලධාරීන්, මෙවැනි වංචාකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.














