මැදපෙරදිග යුදමය වාතාවරණය ආරම්භ වීමත් සමඟ ඇති වූ අධික ඉන්ධන ඉල්ලුම හේතුවෙන්, සාමාන්‍යයෙන් මාස එකහමාරක කාලයක් සඳහා නිකුත් කිරීමට සැලසුම් කර තිබූ ඉන්ධන තොග දින නවයක් වැනි කෙටි කාලයක් තුළ බෙදා හැරීමට සිදු වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි. මැදපෙරදිග ගැටුම් ආරම්භ වී පළමු දින 10 ඇතුළත පමණක් ඩීසල් මෙට්‍රික් ටොන් 57,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 47,000ක් දිවයින පුරා පිහිටි පිරවුම්හල් හරහා ජනතාව වෙත නිකුත් කර තිබේ.
පවතින ගෝලීය අවිනිශ්චිතතාවය සහ ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ඉන්ධන පාලනයකින් යුතුව බෙදා හැරීම සඳහා QR කේතය පදනම් කරගත් ඉන්ධන කෝටා ක්‍රමය සියලුම වාහන සඳහා අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන ඇත. මෙම තීරණය පෙරේදා (මාර්තු 15) පෙරවරු 6.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වේ.
මහජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කිරීමෙන් වැළකිය යුතු බවත්, පවතින සීමිත සම්පත් කළමනාකරණය කරගැනීමට සහයෝගය ලබා දිය යුතු බවත් බලධාරීන් ඉල්ලා සිටී. QR ක්‍රමවේදය හරහා සෑම වාහනයකටම සාධාරණ ලෙස ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර, එමඟින් පිරවුම්හල් අසල පවතින දැඩි පෝලිම් තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














