මැදපෙරදිග යුද වාතාවරණය මධ්‍යයේ වුවද, ඇනවුම් කළ පරිදි තවත් ඉන්ධන නෞකාවක් අද (16) උදෑසන 10.00ට කොළඹ වරායට සේන්දු වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි. මෙම නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් අද දිනයේදීම ගොඩබෑමට නියමිතය.
මේ අතර, ඉන්ධන පෝලිම් පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් QR පද්ධතිය අවභාවිත කරමින් සිදු කෙරෙන මහා පරිමාණ දත්ත වංචාවක් පිළිබඳව ද ඔහු අනතුරු ඇඟවීය. ඛනිජ තෙල් සංස්ථාවේ නම භාවිත කරමින් ව්‍යාජ වෙබ් අඩවි සහ ගිණුම් හරහා මහජනතාවගේ වාහන අංක සහ දුරකථන අංක රැස් කරමින් පවතින බවත්, එම දත්ත යොදාගෙන වෙනත් පුද්ගලයන් විසින් QR කේත සකස් කර ගන්නා බවත් වාර්තා වී ඇත. මේ හේතුවෙන් නියමිත වාහන හිමිකරුවන්ට සිය QR කේතය සකසා ගැනීමේ අවස්ථාව අහිමි වන බැවින්, fuelpass.gov.lk නිල වෙබ් අඩවියට හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට සිය තොරතුරු ලබා නොදෙන ලෙස ඔහු ඉල්ලා සිටියි.
පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින්, පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළ ද අද සිට ක්‍රියාත්මක වේ. CPC, LIOC, සිනොපැක් සහ ආර්.එම්. පාර්ක් යන සියලුම පිරවුම්හල් ජාලයන් වෙත ඇනවුම් කළ ඉන්ධන තොග අඛණ්ඩව බෙදා හැරීමට ද පියවර ගෙන ඇත.














