මෙරට පවතින ඉන්ධන තොග ප්‍රමාණවත් වන්නේ එළඹෙන අප්‍රේල් මාසයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය දක්වා පමණක් බවත්, ඉන් ඉදිරියට රට දැඩි බලශක්ති අභියෝගයකට මුහුණ දෙනු ඇති බවත් බිමල් රත්නායක මහතා පවසයි. ලෝක නායකයන් කිහිපදෙනෙකුගේ “යුද උන්මාදය” හේතුවෙන් සමස්ත ලෝකයම විනාශයට ඇදී යන බවත්, එහි දරුණු බලපෑම පෘථිවියේ කුඩා කොටසක් වන ශ්‍රී ලංකාවට ද සෘජුවම එල්ල වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ජනාධිපතිවරයා ද මීට පෙර පවතින ඉන්ධන තොගවල සීමාවන් පිළිබඳව ප්‍රකාශ කර ඇති බව සිහිපත් කළ රත්නායක මහතා, වත්මන් ගෝලීය යුද වාතාවරණය තවදුරටත් පැවතුණහොත් අලුත් අවුරුද්දෙන් පසු මෙරට ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි බව පෙන්වා දුන්නේය. ලෝක බලවතුන්ගේ තීරණ නිසා මිනිස් ජීවිත සහ අනාගත බලාපොරොත්තු බිඳවැටෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














