මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම නිසා මෙරට ජනතාවට සහ ආර්ථිකයට එල්ල වන බලපෑම අවම කිරීම සඳහා රජය විසින් විශේෂ සහන මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහ ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනයක් ලබාදීමට මීට පෙර ගත් තීරණයට අමතරව, අප්‍රේල් මාසය සඳහා ‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට විශේෂ දීමනාවක් හිමි වේ. ඒ අනුව අන්ත දිළිඳු පවුලකට රුපියල් 7,500ක් ද, දුප්පත් පවුලකට රුපියල් 5,000ක් සහ සංක්‍රාන්තික පවුලකට රුපියල් 2,500ක් බැගින් අමතර මුදලක් ලබා දීමට නියමිතය. විදුලි පාරිභෝගිකයන් මුහුණ දෙන පීඩනය අවම කිරීම සඳහා ඒකක 90ට අඩු පාරිභෝගිකයන්ගේ අමතර පිරිවැය මාස තුනක කාලයක් රජය විසින් දැරීමට ද තීරණය කර ඇත.
ගොවි සහ ධීවර ප්‍රජාව මෙන්ම කුඩා තේ වගාකරුවන් වෙනුවෙන් ද විශේෂ සහන ප්‍රකාශයට පත් කර තිබේ. යල කන්නය සඳහා දැනට ලබාදෙන පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රුපියල් 30,000 දක්වා ඉහළ නංවා ඇති අතර, යූරියා පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ලබාදීමට කටයුතු යොදා ඇත. ධීවර කර්මාන්තයේ යෙදෙන එක්දින යාත්‍රා සඳහා ලීටරයකට රුපියල් 50ක සහනාධාරයක් සහ බහුදින යාත්‍රා සඳහා රුපියල් 150,000ක ඒකාබද්ධ දීමනාවක් මාස තුනක් පුරා ලබා දීමට නියමිතය. මීට අමතරව කුඩා තේ වගාකරුවන් සඳහා පොහොර මිටියකට රුපියල් 5,000ක අමතර දීමනාවක් ද රජය මඟින් පිරිනමනු ලබයි.














