එළඹෙන අප්‍රේල් මාසය අවසානය දක්වා මෙරටට අවශ්‍ය ඉන්ධන ඇණවුම් සියල්ල මේ වන විට ස්ථීර කර අවසන් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අද (මාර්තු 20) ප්‍රකාශ කළේය. ඒ අනුව අප්‍රේල් මාසයට අදාළව ඉන්ධන නැව් 5ක ඇණවුම් ඉකුත් 18 වැනිදා නිල වශයෙන් තහවුරු කර තිබේ.
අලුතින් සිදුකළ ඇණවුම් සමඟ අප්‍රේල් මස අවසානය දක්වාම අඛණ්ඩව ඉන්ධන සංචිත මෙරටට ලැබෙමින් පවතින බවත්, ඉදිරි උත්සව සමය තුළ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවට සංස්ථාව සහතික වන බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ වුවද මෙරට බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.
තවද, ජාතික ඉන්ධන බලපත්‍ර (QR) පද්ධතියේ පැවති තාක්ෂණික දෝෂ මේ වන විට සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇත. විශේෂයෙන්ම පැරණි කෝටාවන් (Quota) සම්බන්ධයෙන් ගැටලු පැනනැඟුණු පුද්ගලයන්ගේ තොරතුරු යාවත්කාලීන කර ඇති බැවින්, පාරිභෝගිකයින්ට බාධාවකින් තොරව සිය ඉන්ධන ලබාගැනීමට හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














