මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ වුවද මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත් පියවරක් ලෙස ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද (16) මෙරටට පැමිණේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජානක රාජකරුණා මහතා සඳහන් කළේ ගෝලීය සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති බාධා මධ්‍යයේ මෙම තොගය ලැබීම මෙරට බලශක්ති ස්ථාවරත්වයට විශාල සහනයක් වන බවයි.
මෙම නෞකාවට අමතරව මෙම මාසය තුළ සිංගප්පූරුවෙන් සහ ඉන්දියාවෙන් තවත් ඉන්ධන නෞකා 03ක් මෙරටට පැමිණීමට නියමිත බවත් ඒ අනුව අප්‍රේල් මස අග දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එම ඉන්ධන තොග ගොඩබෑම සිදු කරන අවස්ථාවේදී පවතින ලෝක වෙළඳපොළ මිල ගණන් අනුව ගෙවීම් සිදු කිරීමට නියමිතය. මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන හිඟයකින් තොරව පාරිභෝගිකයාට අවශ්‍ය සේවාව සැපයීමට රජය සහ ඛනිජ තෙල් සංස්ථාව උපරිම උත්සාහයක නිරත වන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.














