ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ දේශීය වශයෙන් පවතින ගබඩා පහසුකම්වල හිඟකම මෙරට ගෑස් මිල සංශෝධනය වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (අප්‍රේල් 07) පස්වරුවේ ප්‍රකාශ කළේය. සෞදි ඇරම්කෝ (Saudi Aramco) මිල දර්ශකයට අනුව, මීට පෙර මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 541.5ක්ව පැවති ගෑස් මිල මාර්තු මාසය වන විට ඩොලර් 787.50ක් දක්වා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලිට්‍රෝ සහ ලාෆ් යන සමාගම් දෙකෙහිම මිල ගණන් ඉහළ දැමීමට සිදු වූයේ මෙම ගෝලීය මිල ඉහළ යාම නිසා වුවද, ජනතාවට සිදුවන පීඩනය අවම කිරීම සඳහා විය යුතු සැබෑ මිල වැඩිවීමට වඩා අඩු අගයකින් මිල සංශෝධනය කිරීමට රජය පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය.
ගෑස් සැපයුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, නව ටෙන්ඩරයට අනුව දැන් ගෑස් ලබා ගන්නේ ‘ජියෝ ගෑස්’ (Geo Gas) සමාගමෙන් බවත්, ඉන් 80%ක් ඇමෙරිකාවෙන් සහ 20%ක් දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන බවත්ය. මැදපෙරදිග කලාපයෙන් බැහැරව මෙම සැපයුම් මාර්ග ක්‍රියාත්මක වන බැවින් දැනට පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද ගෑස් සැපයුමට බාධාවක් නොමැති බව ඔහු තහවුරු කළේය. කෙසේ වෙතත්, මෙරට තුළ විශාල වශයෙන් ගෑස් ගබඩා කිරීමට පහසුකම් නොමැති වීම හේතුවෙන්, මාලදිවයිනට අයත් ගබඩාවල ගෑස් තැන්පත් කර දින තුනකට වරක් මෙරටට ගෙන්වීමට සිදුවන බවත්, එම අමතර ප්‍රවාහන පිරිවැය ද මිල ඉහළ යාමට එක් හේතුවක් වී ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය. මෙම පිරිවැය අඩු කර ගැනීම සඳහා මෙරට තුළ ස්ථිර ගෑස් ගබඩා පහසුකම් ඉදිකිරීමේ වැඩකටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.














