ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවන්ට අනුව, 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධන වේගය සියයට 5 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව 2024 වසරේ රුපියල් මිලියන 12,508,954 ක් ලෙස වාර්තා වූ ස්ථාවර මිල ගණන් (2015 පදනම් වර්ෂය) යටතේ දළ දේශීය නිෂ්පාදිතය 2025 වසරේදී රුපියල් මිලියන 13,128,577 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම වත්මන් වෙළඳපොළ මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 32,750,844 ක් දක්වා ඉහළ යමින් සියයට 8.8 ක ධනාත්මක වෙනසක් පෙන්නුම් කරන බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනෙහි දායකත්වය සැලකීමේදී සේවා අංශය සියයට 54.6 ක උපරිම දායකත්වයක් ලබා දී ඇති අතර කර්මාන්ත අංශය සියයට 25.4 ක් සහ කෘෂිකර්ම අංශය සියයට 8.4 ක දායකත්වයක් ලබා දී ඇත. මීට අමතරව නිෂ්පාදන මත බදු සහ සහනාධාර අංශය සියයට 11.6 ක කොටසක් ආර්ථිකයට එක් කර තිබේ. 2025 වසර තුළ කර්මාන්ත අංශය සියයට 7.8 ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති අතර සේවා අංශය සියයට 3.3 කින් සහ කෘෂිකර්ම අංශය සියයට 1.4 කින් වර්ධනය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.














