වත්මන් ලෝක දේශපාලනික සහ ආර්ථික අස්ථාවරත්වය හමුවේ මතුව ඇති ගෝලීය අර්බුදයට ශ්‍රී ලංකාව රටක් ලෙස සාමූහිකව මුහුණ දිය යුතු බව ‘අලුත් පියාපත්’ සංවිධානය අවධාරණය කරයි. ඊයේ (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ප්‍රසාද් දිසානායක මහතා පැවසුවේ, මෙය ලෝකයේ ඕනෑම රටකට බලපාන පොදු තත්ත්වයක් බැවින් බෙදී වෙන් නොවී එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සචිත් රුක්ෂාන් මහතා ප්‍රකාශ කළේ, අර්බුදය හමුවේ දේශීය කර්මාන්ත කඩා වැටීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීම මඟින් අනාගතයේදී ජයග්‍රාහී ඉදිරි පියවරක් තැබිය හැකි බවයි. එසේම, පවතින දුෂ්කර තත්ත්වය දේශපාලන වාසි තකා යොදා ගනිමින් විපක්ෂය කටයුතු කරන ආකාරය තරුණ සංවිධානයක් ලෙස තමන් හෙළා දකින බවත්, බලය ලබා ගැනීමට වඩා රටේ අර්බුදය ජය ගැනීමට සහාය වීම විපක්ෂයේ වගකීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














