රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනය අද (අප්‍රේල් 10) දෙවන දිනටත් ක්‍රියාත්මක වන අතර, වර්ජනය අත්හැර පැමිණියහොත් පමණක් සාකච්ඡාවකට ඉඩ ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇති කරගත් එකඟතා කඩ කළ බව පවසමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වේ.
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්කිරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් විභාගයට ගන්නේ ද නැද්ද යන තීරණය මැයි මස 8 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නියෝග කළේය. හොරණ වැනි රෝහල්වල වර්ජනය දැඩිව ක්‍රියාත්මක වීම හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින නමුත්, බොහෝ රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බව ද වාර්තා වේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම වර්ජනයට එක් නොවන බව නිල වශයෙන් දන්වා තිබේ.
අමාත්‍යවරයා පවසන්නේ රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන වර්ජනයක නිරත වීම පිළිගත නොහැකි බවත්, සාකච්ඡා මඟින් ගැටලු විසඳා ගැනීමට නම් වහාම වර්ජනය නතර කළ යුතු බවත්ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පවත්වා සිය ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතය.














