විස්තීර්ණ ආපදා අවස්ථාවලදී රාජ්‍ය සේවකයන් වෙත ලබා දෙන ආපදා දීමනාව 100% කින් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අද (09) ප්‍රකාශ කළේය.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අනාවරණය කළේ 2019 වසරේ පැවති චක්‍රලේඛයට අනුව දිනකට රුපියල් 700ක් වූ ආපදා දීමනාව රුපියල් 1400 දක්වා වැඩිකර ඇති බවයි. මීට අදාළ චක්‍රලේඛය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මාර්තු 06 වැනිදා නිකුත් කර තිබේ. ආපදා සහන සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් රැසකට මෙන්ම පරිපාලන සේවයේ වැටුප් තල සඳහා ද මෙම වැඩි කිරීම් බලපැවැත්වේ.
වත්මන් රජය බලයට පත්ව මාස 15ක් ඇතුළත රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, විශ්‍රාමික සහන සැපයීම, උත්සව අත්තිකාරම් සහ ආපදා ණය ඉහළ නැංවීම මෙන්ම අත්හිටුවා තිබූ නිවාස ණය නැවත ආරම්භ කිරීම වැනි කටයුතු රාශියක් සිදුකර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. පසුගිය රජය ආපදාවට ලක්වූවන්ට පවා සහන ලබා දීමට අපොහොසත් වූ පසුබිමක, වත්මන් රජය වැඩකරන ජනතාව වෙනුවෙන් උපරිම සහන සලසමින් සිටින බව හෙතෙම අවධාරණය කළේය. එසේම පසුගියදා පැවති කාන්තා දින සැමරුම්වලදී, කාන්තාවන්ට සිදුකළ අපහාසයන්ට ජාතික ජන බලවේගය නිසි පිළිතුරු ලබාදුන් බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.















