මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා සැලකිල්ලට ගෙන, සියලුම රජයේ ආයතන සඳහා දැඩි බලශක්ති සංරක්ෂණ මාවතක් අනුගමනය කරන ලෙස රජය අද (24) නියෝග කර තිබේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් නිකුත් කරන ලද මෙම නව මාර්ගෝපදේශ මාලාවට අනුව, රජයේ නිලධාරීන් රාජකාරි සඳහා වාර්තා කිරීමේදී පොදු ප්‍රවාහන සේවා හෝ “Carpool” ක්‍රමය භාවිත කළ යුතු අතර, රැස්වීම් සඳහා දුර බැහැර සිට නිලධාරීන් කැඳවීම සීමා කර ඒ වෙනුවට Zoom හෝ WhatsApp වැනි මාර්ගගත (Online) ක්‍රමවේද භාවිත කළ යුතුය.
මෙම නව නීති යටතේ රජයට අයත් වාහන 92,000ක් දිනකට ඉන්ධන ලීටරය බැගින් ඉතිරි කළහොත් වසරකට ඉන්ධන ලීටර් මිලියන 110ක් ඉතිරි කරගත හැකි බව රජය පෙන්වා දෙයි. විදුලිය පිරිමැසීම සඳහා කාර්යාලවල වායුසමීකරණ යන්ත්‍ර සෙල්සියස් අංශක 26 හෝ ඊට ඉහළ අගයක පවත්වා ගත යුතු අතර, දිනකට පැයක් හෝ දෙකක් ඒවා ක්‍රියා විරහිත කර ස්වාභාවික වාතාශ්‍රය භාවිත කළ යුතුය. තවද, රාත්‍රී 9.00න් පසු ප්‍රදර්ශන පුවරුවල විදුලි පුවරු අක්‍රිය කළ යුතු අතර, සෑම ආයතනයක්ම මාසිකව ඉතිරි කළ බලශක්ති ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
මෙම තීරණය ගනු ලැබුවේ ඇමරිකානු – ඊශ්‍රායල සහ ඉරාන ගැටුම 25 වන දිනටත් ක්‍රියාත්මක වෙමින් ලෝක බලශක්ති වෙළඳපොළ අස්ථාවර කර ඇති පසුබිමකයි. අද දින වාර්තා වූ ඇමරිකාවේ ටෙක්සාස් තෙල් පිරිපහදු පිපිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ තර්ජනය හමුවේ මෙරට ඉන්ධන කළමනාකරණය සඳහා යළිත් QR කේත ක්‍රමය දැඩිව ක්‍රියාත්මක කිරීමට ද රජය පියවර ගෙන තිබේ. මේ අතර, අද සිට සිමෙන්ති මිල රුපියල් 175කින් ඉහළ යාම සහ දේශීයව රන් මිල රුපියල් 370,000 (කැරට් 24) දක්වා පහත වැටීම ද ජන අවධානයට ලක් වූ ප්‍රධාන පුවත් අතර විය.














