මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඉල්ලුම් කර ඇති ඉන්ධන ප්‍රමාණය බාධාවකින් තොරව ලබාදීම සඳහා විශේෂ අවසර පත්‍රයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. දැනට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය තම නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන බවට කර්මාන්තකරුවන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ, අදාළ කර්මාන්තවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳ දත්ත මේ වන විටත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත යොමු කර ඇති බවයි. දැනට කර්මාන්තකරුවන් 2,300ක පමණ පිරිසක් තමන්ට අවශ්‍ය ඉන්ධන කෝටාව වැඩිකර දෙන ලෙස අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබේ.
මේ අතර, සුළු පරිමාණ කර්මාන්තකරුවන් සඳහා වන පහසුකම් ද පුළුල් කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සම්බන්ධීකරණය කර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇත. මෙම වැඩපිළිවෙළ හරහා දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීම වැළැක්වීම රජයේ මූලික අරමුණ වී තිබේ.














