ලෝකයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කිරීමට රජය පූර්ණ සූදානමකින් පසුවන බව අමාත්‍ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සාධක මත බොරතෙල් සහ ගෑස් මිල ඉහළ යාම පාලනය කිරීමට නොහැකි වුවද, එහි බලපෑම මහජනතාවට අවම වන අයුරින් කටයුතු කිරීමටත් විදේශ විනිමය අනුපාතය නිසි මූල්‍ය කළමනාකරණයකින් පාලනය කිරීමටත් රජයට හැකියාව පවතින බවයි. ඉන්ධන හෝ ගෑස් හිඟයක් ඇති වන බවට අනියත බියක් ඇති කරගෙන භාණ්ඩ ගොඩගසා ගැනීමට කටයුතු නොකරන ලෙසත්, එවැනි ක්‍රියාවන් මගින් අනවශ්‍ය වෙළඳපොළ පීඩනයක් නිර්මාණය වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.
ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කරමින් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට විශේෂ ආර්ථික ආවේක්ෂණ කමිටුවක් පත් කර ඇති අතර රජය විසින් උද්ධමනය පාලනය කිරීමට ගත් සාර්ථක පියවර හේතුවෙන් මෙවැනි බාහිර කම්පන දරාගැනීමට ශක්තිමත් පදනමක් සැකසී තිබේ. 2025 වසරේ සියයට පහක ආර්ථික වර්ධනයක් අත්පත් කරගනිමින් අයවැය පරතරය අවම මට්ටමක පවත්වාගෙන ගිය ආකාරයටම ඉදිරි අභියෝගයන්ට ද වගකීම් සහගතව මුහුණ දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම ඇතැම් පාර්ශවයන් පටු වාසි තකා අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවමින් සිටින බව පෙන්වා දෙන අමාත්‍යවරයා, ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට හසු නොවන ලෙසත් අවස්ථාවාදී ලෙස මිල ඉහළ නංවන ව්‍යාපාරිකයන්ට එරෙහිව රජය අවධානයෙන් පසුවන බවත් අවධාරණය කළේය.














