මැදපෙරදිග කලාපයේ පවතින අර්බුද හමුවේ ඉන්ධන සහ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අප්‍රේල් මස 16 සහ 17 යන දිනවල රාජ්‍ය සේවය මාර්ගගතව (Online) ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබෙනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගතව පැවති අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
රජයේ ආයතනවල ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ පුළුල් වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මාර්තු 31 වන විට ඩීසල් භාවිතය 42% කින් අඩු කර ඇති බව මෙහිදී අනාවරණය වුණා. එමෙන්ම අප්‍රේල් මස 07 සහ 09 යන දිනවල පාසල් මට්ටමින් බලශක්ති කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිත අතර විශ්වවිද්‍යාල හැකි සෑම අවස්ථාවකදීම මාර්ගගතව ක්‍රියාත්මක කිරීමටද තීරණය වී තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මෙහිදී දැනුම් දුන්නේ ග්‍රාම නිලධාරී ප්‍රවේශ විභාගය ඇතුළු විභාග සැලසුම් කළ පරිදිම පවත්වා ඇති බවයි. මේ වන විටත් ප්‍රවාහන, ඩිජිටල් ආර්ථික සහ අධිකරණ ඇතුළු බොහෝ අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවක පිරිස් පමණක් කැඳවමින් හෝ මාර්ගගතව සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබනවා.
ජල පරිභෝජනය අපතේ යාම වැළැක්වීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන එක්ව මහජනතාව දැනුවත් කිරීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මාර්ගගතව රාජකාරී ඉටු කිරීමට අදාළ උපදෙස් මාලාවක් සකස් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාවයෙන් පසු අප්‍රේල් 20 වන දිනට පෙර ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිතයි. එමෙන්ම දෛනික බලශක්ති පරිභෝජනය, ඉන්ධන සංචිත සහ රාජ්‍ය සේවක පැමිණීම ඩිජිටල් ‘Dashboard’ එකක් ඔස්සේ අධීක්ෂණය කිරීමටද මෙහිදී සැලසුම් සකස් කර ඇති අතර කමිටුව නැවතත් අප්‍රේල් 08 වනදා රැස්වීමට නියමිතව පවතිනවා.














