ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වේගවත් කිරීම සහ රාජ්‍ය අංශයේ තාක්ෂණික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා දැනට ක්‍රියාත්මක වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කර ඒ වෙනුවට ‘GovTech’ නමින් නව ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ මෙය වඩාත් කාර්යක්ෂම රාජ්‍ය තාක්ෂණික සේවාවක් සැපයීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණයක් බවයි.
මෙම නව ආයතනික ව්‍යුහය යටතේ සිදුකිරීමට නියමිත ප්‍රධාන කාර්යයන් කිහිපයකි. රජයේ ඩිජිටල් ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ‘ඩිජිටල් ආර්ථික අධිකාරියක්’ (Digital Economy Authority) පිහිටුවීමට නියමිත අතර, එම ප්‍රතිපත්ති තාක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේ වගකීම ‘GovTech’ ආයතනය වෙත පැවරේ. ග්‍රාම නිලධාරී සේවා ඇතුළු බිම් මට්ටමේ රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ජාල පද්ධති ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණකි.
මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහයෝගය ද හිමිව තිබේ. ඒ අනුව ඉදිරි වසර හතරක කාලය තුළ ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 75ක් ලබා දීමට එකඟ වී ඇත. මීට අමතරව ආරම්භක පිරිවැය ලෙස රජයේ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 2ක මුදලක් වෙන් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.














