මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් මෙරට තෙල් සංචිත පාලනය කිරීම සඳහා රජය විසින් අද (2026 මාර්තු 25) දින විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබියදී, එම නියෝග උල්ලංඝනය කරමින් හැටන් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උපකාරක පන්තියක් වැටලීමට හැටන් පොලිසිය පියවර ගෙන තිබේ. හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත්තේ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුවයි.
හැටන්, හිජිරාපුර ප්‍රදේශයේ අවම පහසුකම් සහිත ස්ථානයක පවත්වාගෙන ගිය මෙම පන්තිය සඳහා හැටන් නගරයේ ප්‍රධාන දෙමළ පාසලක ගුරුවරුන් දෙදෙනෙකු සම්බන්ධ වී ඇති බව අනාවරණය වී ඇත. පවතින බලශක්ති අර්බුදය හමුවේ පාසල් නිවාඩු ලබා දී ඇති අතර, බාහිර උපකාරක පන්ති ද නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති විශේෂ චක්‍රලේඛ උපදෙස් මොවුන් විසින් මෙලෙස උල්ලංඝනය කර තිබේ.
අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් විසින් පන්තිය වහාම නතර කර එහි සිටි සිසුන් නිවෙස් කරා පිටත් කර යැවීමට කටයුතු කර ඇත. රජයේ නියෝග නොතකා කටයුතු කළ අදාළ ගුරුවරුන් සම්බන්ධයෙන් ඉදිරි විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලධාරීන් දැනුවත් කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.














