සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර අතර හදිසි මෙන්ම සුහද කතාබහක් ඊයේ (12) සිදුවිය. මෙම හමුව සිදුවූයේ හිටපු පුවත්පත් කතුවරයකු වූ අනුර සොලමන්ස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දෙදෙනාම බොරැල්ල කනත්ත වෙත පැමිණි අවස්ථාවකදීය. එහිදී අමාත්‍යවරයා සුගීශ්වර බණ්ඩාර මහතා අමතමින් තමන්ව මඟහැර යන්නේ ඇයිදැයි විමසූ අතර, සුගීශ්වර බණ්ඩාර මහතා ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවීමට උත්සාහ කළත් නිසි අවස්ථාවක් නොලැබෙන බවයි. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන් ඇතුළු පිරිස කාර්යබහුලත්වය නිසා නිතරම කාර්යාලයේ රැඳී නොසිටින බවත්, ඉදිරි දිනයකදී හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන බවත්ය. ඉතා සුහදශීලීව නිමාවට පත්වූ මෙම සංවාදය දේශපාලන කරළියේ විශේෂ අවධානයට ලක්ව තිබේ.














