පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රෝගීන් පීඩාවට පත් කරමින් අසාධාරණ ලෙස වැඩවර්ජනයක නිරත වන්නේ නම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වන්නේ නැති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. මේ හේතුවෙන් ඊයේ පැවැත්වීමට තිබූ සාකච්ඡාව ද අමාත්‍යවරයා විසින් අවලංගු කර තිබේ.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම වැඩවර්ජනයට පාදක වී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම නීත්‍යානුකූලව සිදු කර ඇති බවත්, එය වෛද්‍යවරුන්ගේ පළමු පත්වීම බැවින් එහිදී මාරු මණ්ඩලවල මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත්ය. පත්වීම් ලැබූ නවක වෛද්‍යවරුන් 453 දෙනාගෙන් 436 දෙනෙකුම දැනටමත් සේවයට වාර්තා කිරීමට කැමැත්ත පළ කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම, කිසිදු බියකින් තොරව රාජකාරියට වාර්තා කරන ලෙස නවක වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා, ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබාදීමට රජය සූදානම් බව ද සඳහන් කළේය. මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ද මෙහිදී අදහස් දක්වමින් වෛද්‍යවරුන් ජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් සිදු කරන මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කළේය.














