මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින්, ගුණාත්මක සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් නවක හෙද සිසුන් 2,918 දෙනෙකු පුහුණුව සඳහා බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.
මෙම නිල උත්සවය හෙට (14) පෙරවරු 10.00 ට කොළඹ අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී පත්වීම් ලිපි හිමිවන්නේ 2025 වර්ෂයට අදාළව, 2022 කණ්ඩායමෙන් තෝරාගත් සුදුසුකම්ලාභී අයදුම්කරුවන් පිරිසකටයි. දිට්වා (DITVA) ආපදා තත්ත්වය සහ පවතින සෞඛ්‍ය අභියෝග හමුවේ මෙවැනි නව බඳවා ගැනීම් පද්ධතියට විශාල ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතය. මෙම නව බඳවා ගැනීම් හරහා මෙරට රෝහල් පද්ධතියේ පවතින හෙද හිඟයට ස්ථාවර විසඳුමක් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි.















