දැනට පවතින අධි ආරක්ෂිත කලාප සීමා පිළිබඳව නැවත පරීක්ෂා කර බලා, අවශ්‍යතාව පරිදි එම සීමා යාවත්කාලීන කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබේ. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම තීරණය දැනුම් දුන්නේය.
මෙහිදී විශේෂයෙන්ම උතුරු නැඟෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ භාරයේ පවතින ජනතාවගේ පෞද්ගලික ඉඩම් නැවත ඔවුන්ටම ලබා දීම රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. නැවත ලබා දීමට අපහසු ඉඩම් සඳහා සාධාරණ වන්දි මුදල් ලබා දී එම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ද, ආරක්ෂක කඳවුරු පවතින ප්‍රදේශවල ඉඩම් රජයේ ආර්ථික කටයුතු සඳහා යොදාගත හැකි ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලැබිණි.














