ලෝකප්‍රකට ‘The Economist’ සඟරාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, ආසියානු කලාපයේ නිවාස මිලදී ගැනීමට වඩාත්ම අපහසු (Most Unaffordable) රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. සීඝ්‍ර නාගරීකරණයත් සමඟ මිලියන සංඛ්‍යාත ජනතාවක් ප්‍රධාන නගර කරා සංක්‍රමණය වීම හේතුවෙන් ආසියාව පුරා දැඩි නිවාස හිඟයක් නිර්මාණය වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි. ඉන්දියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල ද වේගවත් නගර ව්‍යාප්තියක් දක්නට ලැබුණද, සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මට්ටමේ නිවාස සැපයුම එම වර්ධනයට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බව එහි සඳහන් වේ.
සාධාරණ මිලකට නිවාස ලබා ගැනීමට නොහැකි වීම ආසියානු නගර මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය බවට පත්වෙමින් පවතින බව පවසන ‘The Economist’ සඟරාව, මෙය රටක ඵලදායිතාවයට, ජන ජීවිතයේ ගුණාත්මකභාවයට සහ ආර්ථික වර්ධනයට සෘජුවම බලපාන බව අවධාරණය කරයි. දැරිය හැකි මිලකට නිවාස ලබාදීම සඳහා රජයන් විසින් සැලකිය යුතු ආයෝජනයක් සිදු නොකළහොත්, ඉදිරි වසර කිහිපය තුළ නගරවල තදබදය, අසමානතාවය සහ ජීවන තත්ත්වය තවදුරටත් පහළ වැටීමේ දැඩි අවදානමක් පවතින බව ද එම වාර්තාව අනතුරු අඟවයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල ඉඩම් මිල සහ ඉදිකිරීම් පිරිවැය ඉහළ යාම මෙම තත්ත්වය තීව්‍ර කිරීමට හේතු වී තිබේ.














