මැදපෙරදිග කලාපයේ ඇවිළී යන අමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම් හේතුවෙන් සිය මව්බිම් කරා යාමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ සිරවී සිටින විදේශීය සංචාරකයන් වෙනුවෙන් සුවිශේෂී මානුෂීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. ලෝකයම යුද බියෙන් වෙලී පවතින මොහොතක, මෙරටට පැමිණ අසරණ වූ සංචාරකයන්ගේ සුභසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි මූලික අරමුණයි.
ශ්‍රී ලංකාවේ ප්‍රකට ආගන්තුක සත්කාරය සහ මනුෂ්‍යත්වය විදහා දක්වමින්, සංචාරක මණ්ඩලයේ මැදිහත්වීමෙන් මෙම විදේශිකයන් සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් මේ වන විටත් ආරම්භ කර ඇත. මීට අමතරව, ගුවන් ගමන් අත්හිටුවීම නිසා මෙරට කොටුවී සිටින සංචාරකයන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සහ උපරිම රැකවරණය සැලසීමට ද රාජ්‍ය ආයතන එක්ව කටයුතු කරමින් සිටී.
ගෝලීය අර්බුද හමුවේ වුවද ශ්‍රී ලංකාව අනුගමනය කරන මෙම වැඩපිළිවෙල ජාත්‍යන්තර සංචාරකයන්ගේ පැසසුමට ලක්ව ඇති අතර, එය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට ඉවහල් වනු ඇත. යුද්ධයෙන් පීඩා විඳින ලෝකයක, අසරණ වූවන්ට පිහිට වීම ශ්‍රී ලාංකික අපගේ අනන්‍යතාවය බව මෙමගින් යළිත් වරක් ලොවටම ඔප්පු කර තිබේ.














