ජාතික ආරක්ෂාව කෙරෙහි ඉහළ අවදානමක් ඇති කළ හැකි රසායනික ද්‍රව්‍ය 15ක් දැනට හඳුනාගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම ද්‍රව්‍ය නියාමනය කිරීමේ වත්මන් තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළේය.
හඳුනාගත් රසායනික ද්‍රව්‍ය 15න් 7ක් දැනටමත් පුපුරණ ද්‍රව්‍ය පාලකවරයා යටතේ නියාමනය වන අතර, එක් ද්‍රව්‍යයක් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය මඟින් පාලනය කෙරේ. කෙසේ වෙතත්, මෙතෙක් කිසිදු ආයතනයක් මඟින් නියාමනය නොවන රසායනික ද්‍රව්‍ය 7ක් පවතින බවත්, ඒවා අධීක්ෂණය කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින “රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය” වෙත පැවරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශේෂ පනත් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබාගෙන තිබේ. ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජනයන් අවම කිරීම සඳහා මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම, ගබඩා කිරීම සහ භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති රීති පද්ධතියක් ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.














