දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ විශේෂ වැටලීම්වලදී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ඊයේ (මාර්තු 26) මීගමුව, පුදුකුඩිඉරිප්පු සහ හිඟුරක්ගොඩ යන පොලිස් වසම් තුළදී මෙම වැටලීම් සිදුකර ඇත.
මීගමුව පොලිසිය විසින් මීගමුව කලපුවේ සිදුකළ වැටලීමකදී ධීවර යාත්‍රාවක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 1050ක් සොයාගත් අතර ඒ සම්බන්ධයෙන් 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් සුදන්දිරපුරම් ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 562ක් සන්තකයේ තබාගෙන සිටි 36 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිම ඉන්ධන තොගයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙනි. එහි යාය 07 ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී භූමිතෙල් ලීටර් 1995ක් නීතිවිරෝධී ලෙස රැස්කර සිටි 36 හැවිරිදි පුද්ගලයෙකු හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පොලිස් ස්ථාන මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පවතින බලශක්ති අර්බුදය හමුවේ මෙලෙස ඉන්ධන ජාවාරම් කිරීම සහ බලපත්‍ර නොමැතිව රැස්කර තැබීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිසිය අවධාරණය කරයි.
















