යතුරුපැදි එන්ජින් හොර රහසේ මෙරටට ආනයනය කර, ඒවා එකලස් කර විකිණීමේ ජාවාරමක නිරත වූ 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනා එන්ජින් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව වැල්ලම්පිටිය, බ්‍රැන්ඩියාවත්ත සහ වෙන්නවත්ත ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මෙම ජාවාරම අනාවරණය විය.
සැකකරු ඉන්දියාවේ සිට යතුරුපැදි අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් මෙම එන්ජින් සූක්ෂ්ම ලෙස මෙරටට ගෙන්වා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. පොලිස් භාරයට ගත් එන්ජින් 16 අතර මෙරට බහුලව භාවිත කරන යතුරුපැදි වර්ග හයකට අයත් එන්ජින් පවතින අතර, ඒවා එකලස් කර වෙළඳපොළ මිලට වඩා අඩු මුදලට විකිණීම මොහුගේ උපක්‍රමය වී ඇත.
පොලිසිය දැනටමත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ මොහු විසින් මීට පෙර මෙලෙස එකලස් කර අලෙවි කරන ලද යතුරුපැදි පවතින්නේ ද යන්න සහ එම වාහන කිසියම් අපරාධ ක්‍රියාවලට යොදාගෙන තිබේද යන්න සෙවීමටයි. සැකකාර ව්‍යාපාරිකයා ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














