ශ්‍රී ලංකාව සමඟ පවතින විස්තීර්ණ ණය වැඩසටහනේ (EFF) හයවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමක් මෙම මාර්තු මස අවසානයේදී මෙරටට පැමිණීමට නියමිතය. මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මෙම සංචාරයේදී රජය විසින් අත්පත් කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සහ IMF කොන්දේසි සපුරාලීම පිළිබඳව පුළුල් ලෙස ඇගයීමට ලක් කරන බවයි.
දැනටමත් ණය වාරික 05ක් මෙරටට ලැබී ඇති අතර, මෙම හයවන සමාලෝචනය සාර්ථක වීමෙන් අනතුරුව මීළඟ ණය වාරිකය මුදාහැරීමට අවශ්‍ය එකඟතාවන්ට එළඹීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි. මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක ආර්ථිකය අස්ථාවර වී ඇති මෙවන් වකවානුවක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින මෙම සහයෝගීතාව මෙරට මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට තීරණාත්මක වනු ඇත.














