ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ සිදු කෙරෙන පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමක් ලබන මාර්තු 26 වනදා සිට අප්‍රේල් 09 වනදා දක්වා දිවයිනේ සංචාරයක නිරත වීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් (Julie Kozack) මහත්මිය අද (19) පැවැති සතිපතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව තහවුරු කළාය. මෙහිදී රජයේ නව ප්‍රතිපත්තිමය තීරණ සහ ආර්ථික ඉලක්ක සපුරා ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
පස්වන සමාලෝචනය සඳහා වූ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව (Staff-Level Agreement) 2025 ඔක්තෝබර් 09 වනදා එළඹුණු නමුත්, ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදුවූ ආර්ථික බලපෑම සහ ගෝලීය ඉල්ලුමේ වෙනස්වීම් හේතුවෙන් පස්වන සහ හයවන සමාලෝචන එක්ව සිදු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් තීරණය කර තිබුණි. මෙම ඒකාබද්ධ සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 347ක පමණ මූල්‍ය වාරිකයක් ලබා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.
මෙම සංචාරය තුළදී රජයේ බදු ආදායම් ඉලක්ක, රාජ්‍ය වියදම් කළමනාකරණය සහ විදේශ සංචිත වැඩිකර ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින මෙම වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ විශ්වාසය තහවුරු කර ගැනීමට අත්‍යවශ්‍ය සාධකයකි. මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සිය සංචාරය අවසානයේදී මෙරට ආර්ථික ප්‍රගතිය පිළිබඳ සිය නිල වාර්තාව නිකුත් කිරීමට ද නියමිතව ඇත.














