ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ හයවන ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මේ මස අගදී දිවයිනට පැමිණීමට නියමිතය. මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (14) මේ බව තහවුරු කළ අතර, එහිදී රජය ලබාගෙන ඇති ප්‍රගතිය මෙන්ම පවතින කොන්දේසි සපුරා ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.
පසුගිය වසරේ ඇති වූ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඇති වූ ආර්ථික පසුබෑම නිසා මෙම හයවන වාරිකය මුදාහැරීම යම් ප්‍රමදයකට ලක්වූ අතර, ඒ වෙනුවට මීට පෙර අරමුදල විසින් හදිසි මූල්‍ය සහනයක් (RFI) ලබා දීමට කටයුතු කළේය. රජය අපේක්ෂා කරන්නේ මෙම සමාලෝචනයෙන් පසුව හයවන සහ හත්වන වාරිකයන් දෙකම එකවර ලබා ගැනීමට කටයුතු කිරීමටය. මෙම සංචාරයේදී රජයේ 2026 අයවැය ලේඛනයේ අඩංගු මූල්‍ය ඉලක්ක සහ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව IMF කණ්ඩායම සිය ගැඹුරු නිරීක්ෂණයන් සිදු කරනු ඇත.














