මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හයක් ඉරානයෙන් ගෙන්වා ගැනීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා ප්‍රකාශ කළේය. මහනුවර, උඩුනුවර ප්‍රදේශයේ පැවැති “දැය නංවන සපිරි ගමක්” ජාතික වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය මීළඟ ඖෂධ තොගය මේ වන විටත් ඉරානය තුළ නිෂ්පාදනය කර අවසන්ව ඇත. යුදමය තත්ත්වය හේතුවෙන් ප්‍රවාහන බාධා මතු වුවහොත් එම ඖෂධ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ප්‍රධාන සැලැස්මට අමතරව දෙවන මට්ටමේ (Level 2) විකල්ප සැලැස්මක් ද සකස් කර තිබේ.
යම් හෙයකින් යුද ගැටුම් තාවකාලිකව හෝ නතර වුවහොත් ලැබෙන පළමු අවස්ථාවේදීම ගුවන් මගින් මෙම ඖෂධ තොග ගෙන්වා ගැනීමට රජය සූදානම්ව සිටී. එසේ නොවී යුදමය වාතාවරණය තවදුරටත් පැවතුණහොත් වෙනත් විකල්ප මාර්ග ඔස්සේ හෝ මෙම අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
දැනට මෙරට රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ තොග ප්‍රමාණවත් මට්ටමක පවතින බවත්, මෙම නව තොග ගෙන්වා ගැනීම හරහා අනාගතයේදී ඇති විය හැකි ඖෂධ හිඟයක් වළක්වා ගැනීමට අපේක්ෂා කරන බවත් මෙහිදී ප්‍රකාශ විය.














