ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැනට ක්‍රියාත්මක වන සංස්කෘතික සහයෝගීතා ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි. අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර පැවැති මෙම හමුවේදී යාපනයේ පිහිටි තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රදේශයේ ජනතාවට නිල වශයෙන් භාරදීම සහ එහි නඩත්තු කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය. මීට අමතරව ශ්‍රී ලංකාවේ පවතින දුර්ලභ ග්රන්ථ සහ පුස්කොළ පොත් සුරක්ෂිත කරමින් ඒවා ඩිජිටල්කරණය කිරීම සඳහා ඉන්දියාව ලබාදෙන තාක්ෂණික සහ මූල්‍ය සහාය පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණු අතර දෙරට අතර පවතින ඓතිහාසික සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට මෙහිදී එකඟතාව පළ විය.














