මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරගැනීම වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය හිමිව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා ඉන්දියාවේ සිදුකළ නිල සංචාරය අතරතුර, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු විය. කලාපීය අර්බුදය හමුවේ මෙරට ඉන්ධන අවශ්‍යතාවට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා අඛණ්ඩව ඉන්ධන තොග ලබාගැනීමට අමාත්‍යවරයා කළ ඉල්ලීමට ඉන්දියාව සිය එකඟතාව පළ කර ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි, ඉන්දීය රජය මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉතා ධනාත්මකව කරුණු දක්වා ඇති අතර ඒ සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග මේ වන විටත් සැලසුම් කරමින් පවතී. ගෝලීය තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් දාමයන්හි පවතින අවදානම මධ්‍යයේ ඉන්දියාව වැනි අසල්වැසි රටක සහාය මෙරට ආර්ථික ස්ථාවරත්වයට විශාල ශක්තියක් වනු ඇත. බලශක්ති අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය ගෙන යන මෙම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ඉදිරි මාස කිහිපය තුළ මෙරට ඉන්ධන පෝලිම් ඇතිවීම වැළැක්වීමට තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













