සෑම වසරකම මාර්තු මාසයේ දෙවන බ්‍රහස්පතින්දා දිනට යෙදෙන ජාත්‍යන්තර වකුගඩු දිනය අද (12) සමරනු ලබයි. “වකුගඩු මිහි මව මෙන් රැකගමු” යන්න මෙවර එහි තේමාව වී තිබේ. වකුගඩු රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, රෝග කල්තියා හඳුනා ගැනීමට උනන්දු කරවීම සහ වකුගඩු සෞඛ්‍යය නංවාලීම මෙම දිනය සැමරීමේ මූලික අරමුණයි.
සෞඛ්‍ය වාර්තාවලට අනුව, වර්තමානය වන විට ලොව පුරා සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකු නිධන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳිති. මුල් අවදියේදී රෝග ලක්ෂණ නොපෙන්වන මෙම රෝගය දියවැඩියාව, අධික රුධිර පීඩනය, තරබාරුකම සහ හෘද රෝග ඇති පුද්ගලයින්ට වැලඳීමේ අවදානම ඉතා ඉහළය. සරල මුත්‍රා හෝ රුධිර පරීක්ෂණයක් මගින් මෙම රෝගය කල්තියා හඳුනාගත හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙති. වකුගඩු දිනය නිමිත්තෙන් පොලොන්නරුව ජාතික වෘක්කවේද රෝහල මගින් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පාගමනක් ද සංවිධානය කර තිබුණි.














