මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති උණුසුම් යුද වාතාවරණය මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ඉරානය සූදානම් බව කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඉරාන තානාපති ආචාර්ය අලිරේසා දෙල්කොෂ් මහතා අද (23) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ඉරානයේ සමීපතම මිතුරු රටක් ලෙස සලකන බවත්, මෙවන් අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාව අපහසුතාවයට පත්වනු දැකීමට ඉරානය අකමැති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
විශේෂයෙන්ම ඉරානය විසින් පාලනය කරනු ලබන හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz), ශ්‍රී ලංකාව වැනි මිතුරු රටවල නෞකා සඳහා විවෘතව පවතින බවත්, එමඟින් අවශ්‍ය පහසුකම් සැලසීමට තම රට සූදානම් බවත් තානාපතිවරයා පැවසීය. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක බොරතෙල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඉරානය සතු හැකියාව සහ කැපවීම ඔහු යළිත් තහවුරු කළේය. දෙරට අතර පවතින ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි ඉරානය තුළ පවතින ගෞරවය ද ඔහු මෙහිදී සිහිපත් කර සිටියේය.
මේ අතර, ඉරානයේ රැඳී සිටින විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහ පියවර ගෙන ඇති බවත්, මේ දක්වා ඔවුන්ට කිසිදු ගැටලුවක් වාර්තා වී නොමැති බවත් ආචාර්ය දෙල්කොෂ් මහතා සඳහන් කළේය. යම් හෙයකින් ඉරානයේ සිටින විදේශිකයන්ට සිය රටවල් බලා යාමට අවශ්‍ය වන්නේ නම්, තුර්කිය වැනි අසල්වැසි රටවල් හරහා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද ඉරානය සූදානම් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.












