ඉරානය විසින් ශ්‍රී ලංකාවට සහනදායී මිලට බොරතෙල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට ඉදිරිපත් කළ යෝජනාව රජය අගය කරන නමුත්, එම තෙල් මෙරටට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය නෞකා පහසුකම් ශ්‍රී ලංකාව සතුව නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (මාර්තු 24) ප්‍රකාශ කළේය. ඉරාන තානාපති ආචාර්ය අලිරේසා දෙල්ඛෝෂ් මහතා පසුගියදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙවැනි අවස්ථාවලින් ප්‍රයෝජන ගත හැක්කේ තමන් සතුවම ප්‍රවාහන නෞකා හිමි රටවලට පමණක් බවයි. ඉරානය “මිත්‍ර රටක්” ලෙස ශ්‍රී ලංකාවට සහාය වීමට දක්වන කැමැත්ත අගය කළද, වත්මන් තත්ත්වය තුළ ඉරානයෙන් සෘජුව ඉන්ධන ආනයනය කිරීමේ ප්‍රායෝගික හැකියාවක් මෙරටට නොමැති බව රජයේ ස්ථාවරය වී තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ නාවික ප්‍රවාහන ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම ද මෙරට බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව මෙහිදී අනාවරණය විය.














