කර්මාන්ත හා නිෂ්පාදන තරගකාරිත්වයට මුහුණ දීම සඳහා වෙළෙඳ ගැලපුම් වැඩසටහනක් සමඟින් වසර පහක් තුළදි රේගු බදු සහ රේගු නොවන බදු ඉවත් කිරීමට රජය අපේක්ෂා කරන බවත් රජය ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින් විසින් අද (18) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සංවිධානය කර තිබූ 2023 අය වැය පසු විපරම් සමුළුව අමතමිනි.
“බාධක අභිබවා ඉලක්ක වෙත ළගා වීම” තේමාව යටතේ මෙය සංවිධානය කර තිබිණි.
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ දී රජයට පමණක් නොව පෞද්ගලික අංශයට ද විශාල කාර්ය භාරයක් පැවරී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ අරමුණ ව්‍යාපාර කිරීම නොව සෞඛ්‍ය, අධ්‍යාපන, සුබසාධන වැනි ජනතා අවශ්‍යතාවන් සපුරාලීම බව ද අවධාරණය කළේය.
ව්‍යාපාරය මෙහෙයවිය යුත්තේ පෞද්ගලික අංශය විසින් වන අතර රජය ඊට කිසිඳු මැදිහත්වීමක් සිදු නොකළ යුතු බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” මෙම සාකච්ඡාව සංවිධානය කර තිබෙන්නේ 2023 අය වැය සම්බන්ධවයි. මෙවර ඉදිරිපත් කළ අය වැය සාමාන්‍ය අයවැයක් නොවෙයි. දුම්වැටි මිල ඉහළ දැමීම, තවත් භාණ්ඩයක මිල පහළ දැමීම සහ තවත් ප්‍රකාශන කිහිපයක් අය වැය ප්‍රකාශයක් ලෙස ඔබ භාරගන්නේ නම් ඔබ සිටින්නේ වැරදි මාවතකයි. අවාසනාවකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් සහ ඉන් පිටත බොහෝ පුද්ගලයන් මෙම වරද සිදු කර තිබෙනවා. අපි මීට මැදිවෙලයි ඉන්නේ. ඔබ මුලදී ප්‍රකාශ කළා මෙන් අප සිටින්නේ පෙර නොවූ විරු ආර්ථික අර්බුදයක් මැදයි. මෙය ලෝකයේ වෙනත් රටවල් බොහොමයක් මුහුණ දුන් තත්ත්වයක්. අපිට මීට මුහුණ දීමට සිදුවූයේ අප අනුගමනය කළ වැරදි මුල්‍ය ප්‍රතිපත්ති නිසයි. මීට පෙර අප අවධානය යොමු කර තිබුණේ ප්‍රතිපත්ති පිළිබඳව මිස ප්‍රායෝගියක ප්‍රතිඵලය පිළිබඳව නොවෙයි. මුදල් අමාත්‍යාංශය භාර ගැනීමෙන් පසු මගේ ප්‍රථම කාර්යය වූයේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමයි. ඒ සඳහා අවශ්‍ය පියවර අගෝස්තු මස ඉදිරිපත් කළ අතුරු අය වැයෙහි අන්තර්ගත වුණා. රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධ ව්‍යවස්ථාමය ක්‍රියාවලියත් ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මීට අමතරව අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹෙන අතර අපේ ද්විපාර්ශ්වීය ණය හිමියන් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරනවා. අපි මෙහිදී සුවිශේෂී වන්නේ අපගේ ණයහිමියන් දෙදෙනෙකුම පැරිස් සමාජයේ සාමාජිකයන් නොවීම නිසයි. අපි මෙම අවස්ථාවේ ඉන්දියාව සහ චීනය සමග සාකච්ඡා කරමින් සිටිනවා. එම සාකච්ඡා අවසන්වීමෙන් පසු මුලික වැඩකටයුතු සාර්ථකව අවසන් කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. අනතුරුව අපි පුද්ගලික ණය හිමියන් සමග සාකච්ඡා කළ යුතු වන අතර ඉන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් මණ්ඩලයට යාමට සිදුවෙනවා. මෙම ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල 2026 අවසන් කෙරෙන වසර 04ක වැඩසටහනක්. ඒ වන විට අපේ දළ දේශීය නිෂ්පාදිතය 2019 වසරේ තිබූ තත්ත්වයට පත්වනු ඇතැයි කියා අප බලාපොරොත්තු වෙනවා. පසුගිය අගෝස්තු මාසයේ දී අප ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය ඊළග වසරේ මැද භාගයේ දී අපට දැන ගැනීමට හැකියි. එතැනින් නොනැවතී මෙම තත්ත්වයෙන් ගොඩඒම පිළිබඳ අවධානය යොමු කිරීමට අපට සිදු වුණා. අපගේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමේ සැලැස්ම සහ ආකෘතිය කුමක්ද, අපි එය සිහියේ තබා ගත යුතුයි.2023 යනු ස්ථාවරභාවරයේ වසර පමණක් නොව ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා වන වැඩසටහනේ ආරම්භක වසර ද වෙනවා. යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකාව සදහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos), ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිත ආචාර්ය චෙන් චෙන්, කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති චන්දිම සමරසිංහ මහතා ඇතුළු සාමාජිකයෝ එක්ව සිටියහ.