ගාල්ලට නුදුරු ජාත්‍යන්තර මුහුදේදී ඉරාන නෞකාවක් ප්‍රහාරයකට ලක්ව ගිලී යාම සහ මැදපෙරදිග පවතින උණුසුම් යුද වාතාවරණය සැලකිල්ලට ගනිමින්, ඉන්දීය සාගරයේ සේවය කරන ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රා සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විශේෂ ආරක්ෂක නිවේදනයක් නිකුත් කර තිබේ. මේ වන විට බෙංගාල බොක්ක, සීෂෙල්ස් සහ අරාබි මුහුද ඇතුළු කලාපයන්හි මෙරට බහුදින යාත්‍රා 2000ත් 2500ත් අතර ප්‍රමාණයක් රැකියාවේ නිරතව සිටින බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කරයි.
පවතින තත්ත්වය හමුවේ ධීවරයන්ට ආරක්ෂිත පියවර කිහිපයක් අනුගමනය කරන ලෙස රජය දැනුම් දෙයි. ඒ අනුව, යුදමය කටයුතුවලට සම්බන්ධ බවට සැක කෙරෙන කිසිදු නන්නාඳුනන යාත්‍රාවක් හෝ නෞකාවක් අසලට නොයන ලෙසත්, වෙනත් යාත්‍රා සමඟ භාණ්ඩ හුවමාරු කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසත් අවධාරණය කෙරේ. එසේම, සාම්ප්‍රදායික මසුන් අල්ලන ප්‍රදේශවල පමණක් රැඳී සිටිමින්, රැකියාව නිම වූ වහාම සුපුරුදු ගමන් මාර්ග ඔස්සේ නැවත ගොඩබිමට පැමිණෙන ලෙස ද උපදෙස් දී ඇත. ඕනෑම හදිසි අවස්ථාවකදී 6215.00 kHz, 8291.00 kHz හෝ 4225.00 kHz යන සංඛ්‍යාත ඔස්සේ කොළඹ සමුද්‍රීය සෝදිසි සහ ගලවා ගැනීමේ මධ්‍යස්ථානය (MRCC) සම්බන්ධ කර ගත හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියි.














