මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ වේගයෙන් වෙනස් වන ආරක්ෂක තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව නිවේදනය කරයි. එම කලාපයේ ජීවත්වන සහ රැකියාවල නියුතු දශලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය රජයේ ප්‍රමුඛතම කාර්යභාරය ලෙස සලකනු ලැබේ. පවතින අස්ථාවර වාතාවරණය සැලකිල්ලට ගනිමින් එහි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අත්‍යවශ්‍ය නොවන සංචාර සහ මහජන ඒකරාශීවීම්වලින් වැළකී සිටින ලෙසත් රජය උපදෙස් දෙයි.
එසේම තමන් රැඳී සිටින රටේ නිල මාධ්‍ය වාර්තාවල සහ නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, වලංගු හැඳුනුම්පත් ලේඛන නිරන්තරයෙන් ළඟ තබා ගන්නා ලෙසත් අමාත්‍යාංශය ඉල්ලා සිටියි. ඕනෑම හදිසි අවස්ථාවකදී සහාය ලබා ගැනීම සඳහා ළඟම පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවීම අතිශය වැදගත් වන අතර ඒ සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් සේවාවන් මේ වන විටත් සක්‍රීය කර තිබේ.
විදේශයන්හි සිටින තම ඥාතීන් පිළිබඳව තොරතුරු විමසීම සඳහා ලංකාවේ සිටින පවුල්වල සාමාජිකයන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය +94742595546 අංකයෙන් හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය +94719802822 අංකයෙන් සම්බන්ධ කරගත හැකිය. මීට අමතරව 1989 ක්ෂණික ඇමතුම් අංකය ද මේ සඳහා විවෘතව පවතින අතර අමාත්‍යාංශය දිගින් දිගටම කලාපීය වර්ධනයන් නිරීක්ෂණය කරමින් අවශ්‍යතාවය අනුව ඉදිරියේදී වැඩිදුර යාවත්කාලීන කිරීම් නිකුත් කරනු ඇත.














