ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක සහයෝගීතාව නව මානයකට රැගෙන යමින් දෙරටේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් අතර විශේෂ හමුවක් පසුගිය බදාදා (18) ටෝකියෝ නුවර පිහිටි ජපාන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සහ ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්පිරෝ කොයිසුමි (Shinjiro Koizumi) මහතා අතර පැවති මෙම සාකච්ඡාවේදී ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය සහ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු විය.
“නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික්” (Free and Open Indo-Pacific) දැක්ම යටතේ කලාපීය සාමය තහවුරු කිරීමට දෙරටේ සහයෝගීතාව අත්‍යවශ්‍ය බව ජපාන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ජයසේකර මහතා ප්‍රකාශ කළේ, ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතිවලට අනුකූලව කලාපීය ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම කැපවී සිටින බවයි. මෑතකදී ජපාන නාවික හමුදාවට අයත් ‘JS Onami’ නෞකාව කොළඹ වරායට පැමිණ සිදු කළ ඒකාබද්ධ අභ්‍යාස මඟින් දෙරටේ හමුදාවන් අතර පවතින විශ්වාසය තවදුරටත් තහවුරු වී ඇති බවද මෙහිදී සාකච්ඡා විය.
ඉදිරි කාලය තුළ ඒකාබද්ධ නාවික අභ්‍යාස, පුහුණු වැඩසටහන් සහ ආපදා සහන සේවා (HA/DR) ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශවයම එකඟතාව පළ කළහ. විශේෂයෙන්ම සමුද්‍රීය ආරක්ෂාව සහ කාලගුණ අනාවැකි පද්ධති නවීකරණය කිරීම සඳහා ජපානය ලබා දෙන තාක්ෂණික සහාය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව මෙහිදී පළ කෙරිණි. මැදපෙරදිග පවතින යුදමය නොසන්සුන්තාවය හමුවේ මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම දෙරටටම වැදගත් කරුණක් වී තිබේ.














