කුන්මිං-මොන්ට්‍රියල් ගෝලීය ජෛව විවිධත්ව රාමුව (Global Biodiversity Framework) ක්‍රියාවට නැංවීම සඳහා තේරී පත් වූ ලොව ප්‍රථම රටවල් කිහිපය අතරට එක්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ඒ අනුව කුන්මිං ජෛව විවිධත්ව අරමුදල (KBF) යටතේ මෙරට ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘතියක් සඳහා නිල අනුමැතිය හිමි විය. ජාත්‍යන්තර ප්‍රතිඥාවන් මෙරට ප්‍රමුඛතා සහ යථාර්ථයන්ට ගැළපෙන පරිදි ජාතික ක්‍රියාමාර්ග බවට පත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකේ.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් මහතා විසින් මෙම ව්‍යාපෘති යෝජනාවට පසුගියදා පරිසර අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී. දේශීය විශේෂඥයින්ගේ දායකත්වයෙන් සම්පූර්ණයෙන්ම මෙරට තුළ නිර්මාණය වූ මෙම යෝජනාව හරහා ජාතික මට්ටමේ ඒකාබද්ධ ජෛව ආරක්ෂණ පද්ධතියක් (National Biosecurity System) ස්ථාපිත කිරීමට අපේක්ෂිතය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට, කෘෂිකර්මාන්තයට සහ පරිසර පද්ධතිවලට දැඩි තර්ජනයක් වී ඇති “ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ” පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණකි. 2015 වසරෙන් පසු පළමු වරට ආක්‍රමණශීලී විශේෂයන්ගේ ජාතික ප්‍රමුඛතා ලැයිස්තුව යාවත්කාලීන කිරීම, ජාතික ඩිජිටල් අධීක්ෂණ පද්ධතියක් හඳුන්වා දීම සහ දේශසීමා පාලනය ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙනු ඇත. පරිසර අමාත්‍යාංශය සහ FAO ආයතනය එක්ව මෙහෙයවන මෙම වැඩසටහන මගින් ආක්‍රමණශීලී විශේෂ කල්තියා හඳුනා ගැනීම සහ දිගුකාලීන කළමනාකරණය මෙරට ආයතනික පද්ධතිය තුළ ස්ථාවර කිරීමට පියවර ගෙන තිබේ.














