ඉන්දියාවේ නව දිල්ලියේ පැවැත්වෙන 2026 රයිසිනා සංවාදයට (Raisina Dialogue) සමගාමීව, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ කෙන්යාවේ අග්‍රාමාත්‍ය කැබිනට් ලේකම් (විදේශ සහ ඩයස්පෝරා කටයුතු) මුසාලියා මුදවාඩි (Musalia Mudavadi) මහතා අතර විශේෂ නිල හමුවක් අද (06) පැවැත්වුණි. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා නව මානයකට ඔසවා තැබීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, එහිදී විශේෂ කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු විය.
දෙරට අතර වෙළඳ සහ ව්‍යාපාරික අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා නව ආර්ථික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය ලබා ගැනීම පිළිබඳව මෙහිදී එකඟතාවකට පැමිණියේය. තවද, ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික සංසදවලදී ශ්‍රී ලංකාව සහ කෙන්යාව වඩාත් සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරුන් විසින් පෙන්වා දෙන ලදී. මීට අමතරව කලාපීය ආරක්ෂාව සහ ඩයස්පෝරා කටයුතු සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැනීම සිදු විය.
දශක ගණනාවක සිට පවතින ශ්‍රී ලංකා-කෙන්යා මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමටත්, දෙරටේම පොදු අරමුණු ජය ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමටත් අමාත්‍යවරුන් දෙපළ මෙහිදී සිය කැපවීම නැවත අවධාරණය කළහ.














