ශ්‍රී ලංකාවේ මූල්‍ය විනිවිදභාවය සහ ආර්ථික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2026 අයවැය යෝජනාවලට අනුකූලව ඉදිරිපත් කළ මෙම වැඩපිළිවෙළේ සුවිශේෂී පියවරක් ලෙස, රුපියල් 5,000කට අඩු ඕනෑම LankaQR ගනුදෙනුවක් සඳහා මුදල් යවන්නාට මෙන්ම ලබාගන්නාට (වෙළෙන්දාට) කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීමට රජය තීරණය කර ඇත.
වර්තමානයේ ලංකාQR (LankaQR) යටිතල පහසුකම් මූල්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක් සහ ජංගම යෙදුම් 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක වුවද, එහි සක්‍රීය භාවිතය තවමත් පවතින්නේ අවම මට්ටමකය. දත්ත වාර්තාවලට අනුව 2025 වසරේ තුන්වන කාර්තුව තුළදී LankaQR හරහා වාර්තා වී ඇත්තේ ගනුදෙනු 274,000ක් පමණක් වන අතර, එහි මුළු වටිනාකම රුපියල් බිලියන 1.18කි. මෙමඟින් පෙනී යන්නේ සාමාන්‍ය QR ගනුදෙනුවක වටිනාකම රුපියල් 5,000කට වඩා අඩු මට්ටමක පවතින බවයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාව හරහා, එදිනෙදා සිල්ලර ගනුදෙනු සඳහා අධික ලෙස මුදල් නෝට්ටු භාවිත කිරීම අවම කිරීමට රජය අපේක්ෂා කරයි. මුදල් නෝට්ටු භාවිතය අඩු කිරීමෙන් රජයට වැය වන මුද්‍රණ පිරිවැය ඉතිරි වනවා සේම, මූල්‍ය අන්තර්ගතභාවය (Financial Inclusion) සහ මූල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීමට ද මෙමඟින් මඟ පෑදේ. මෙම නව සහනයත් සමඟ කුඩා පරිමාණ වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් වැඩි වශයෙන් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද වෙත යොමු වනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.















